උළුවස්සේ කොස් පළ ගත් නවගමු පත්තිනි මහ දෙවොල

උළුවස්සේ කොස් පළ ගත් නවගමු පත්තිනි මහ දෙවොල

නවගමුව දේවාලය පෘතුගීසි සමයෙන් පෙර ඉතා දියුණු අඩියක පැවැති බව දැක්වෙන සාධක බොහෝය. ස්ථානයේ පොළොව යට තිබී සාරා මතු කරගත් ගල් කණු කිහිපයක් පුරාවිද්‍යා විශාරදයකු වන ආචාර සෙනරත් පරණවිතාන මහතාට පෙන් වූ කල්හි ඒ මහතා නිගමනය කළේ ඒවා පෘතුගීසි යුගයට අයත් බවයි. එම ගොඩනැගිල්ල ඒ කාලයෙහි විනාශ කොට පොළොවට සමතලා කරන ලදී. දේවාලයට බඹ ගණනකට දුරින් රෝමානු කතෝලික ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබේ. දැනුදු අවුරුදු පතා ශුද්ධ ආනා මුනීශ්වරයන්ගේ මංගල්‍ය පවත්වන ස්ථාන අතුරෙන් නවගමුව දේවස්ථානය ප්‍රමුඛස්ථානයක් ගනියි. එයද පෘතුගීසි කාලයෙන් පසු ගොඩනංවන ලද බව නිසැකය. මෙතරම්ප්‍රසිද්ධ දේවස්ථානයක් නවගමුවේ පවත්නා නුමුදු රෝමානු කතෝලිකයන්ගේ ගණන නම් පවුල් තුන හතරකට සීමා වූ ඉතා සුළු පිරිසකි.


පෘතුගීසීන් දේවස්ථානය විනාශ කිරීමෙන් පසු කලක් එය වනගතව පවතිද්දී එක් කපු මහත්මයෙක් ඒ වන මැද පුංචි දේවස්ථානයක් ගොඩනගන්නට ආරම්භ කළේය. එසේ ගොඩනගද්දී එක් දිනක රාත්‍රියෙහි කවුදෝ සිහිනෙන් පෙනී දේවාලයට නුදුරින් වන කැලණි ගඟේ කොස්කොටයක් පාවෙමින් පවතින බවත් එය තනනු ලබන දේවාල ගොඩනැගිල්ලේ උළුවස්ස වශයෙන් සකස් කර ගත යුතු බවත් කපු මහත්මයාට නියෝග කළේලු. පසුදා තොටුපළට ගොස් බැලූ කල්හි තොටුපොළෙහි කොට කැබැල්ලක් දිය පහරේ පහළට ගසාගෙන නොගොස් දිය සුළියකට හසුවී කැරකවෙමින් තිබුණේ ලු.


සිහිනෙන් කළ නියෝගය පරිදි කපු මහත්මයා එයින් උළුවස්සක් සකස් කරවා අලුත් දේවාලයට තැබීලු. ටික කලකට පසු එම උළුවස්සේ කොස් ගෙඩි කීපයක් හට ගත්තේලු. කපු මහත්මයා දෙවියන්ගේ හාස්කමින් සිදු වූ ආශ්චර්යයක් හැටියට සලකා මෙය ඉතා හොඳින් ආරක්ෂා කළේලු. එක් දවසක් වැල් ඉණි සොයා ගැනීම සඳහා වන ලැහැබෙහි. සංචාරය කළ දුප්පත් මිනිසෙකු දේවාලය ළඟින් යද්දී ඉඳුණු වැල ගෙඩියක සුවඳ දැනුනෙන් ඔබ නොබ පරීක්ෂා කරන අතර දේවාලයේ කොස් උළුවස්සේ හටගත් ගෙඩියක් ඉදී සුවඳ වහනය වන බව දැන ක්ෂුධාභිභූත හෙයින් ද වහනය වූ සුවඳ නොඉවසිය හැකි වූ හෙයින් ද ඉඳුණු ගෙඩිය නෙලා නොගෙන බැගෑපත් ලෙස දෙවියන්ට කන්නලු කොට වැල ගෙඩියෙන් කොටසක් කපා වෙන් කරගෙන කෑවේලු.


නැවත දෙවියන්ට පින් පමුණුවා සමාව යැද පිටත්ව ගියේලු. කපු මහත්මයා දේවාලයට පැමිණ සිදුවී තිබෙන දෙය දැක ශෝකයට පත්ව වැල ගෙඩියකෑ අයට අනතුරු සලස්වන ලෙස පලි ගසා දෙවියන් යැද්දේලු. බඩගින්නෙන් පෙළෙන කෙනෙකු දෙවියන්ට කන්නලව් කොට පින් දී එය වැළඳු හෙයින් වරදක් නැති බව ඔහුට අනතුරු නොකලද නැවත නැවත පලි ගසා යදින කපු මහත්මයාට දඩුවම් දුන්නේලු. මේ කතාව නවගමුව හා ඒ අවට පෙදෙස්වල පමණක් නොව මුලු රටේම ප්‍රසිද්ධ එකකි.

උපුටා ගැනීම කළු කොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහා නා හිමි ස්වයං චරිතාපදානය 80, 81 පිටු

Social media & sharing icons powered by UltimatelySocial
X (Twitter)
Visit Us
Follow Me
YOUTUBE
YOUTUBE